කටුනායක සීදූව නගර සභාවේ සාමාජීය හා භූගෝලීය පසුබිම

මුහුදු බඩ ප්‍රදේශයක් බැවින් පෘතුග්‍රීසි,ලන්දේසි හා ඉංග්‍රීසි යටත් විජිත වකවානුවල බලපෑම් සෘජුවම මෙම ප්‍රදේශයට ලැබී ඇත.බෞද්ධයන් මෙන්ම කතෝලික,ක්‍රිස්තියානි,විවිධ ද්‍රවිඩ සම්භවයක් ඇති ලංකා හෙට්ටි ආදී ජන කොටස්ද වාසය කරති.යටත් විජිත බලපෑම් හේතුවෙන් සරුසාර පොල් ඉඩම් වලින් හා පොල් ආශ්‍රිත කර්මාන්ත වලින්ද ධනය උපයා ගත් ප්‍රභූ පන්තියක් මෙම ප්‍රදේශයේ වාසය කරති .වර්ග කිලෝමීටර් 10.35 ක විශාලත්වයකින් යුත් නගර සභා බල ප්‍රදේශයේ කලපු භූමි ප්‍රමාණය හෙක්ටයාර 1,472.21 ක්ද ගුවන් තොටුපල සඳහා හෙක්ටයාර 618.31 කින්ද යුක්ත වේ.

ස්වාභාවික සම්පත් රාශියක්ද මෙම ප්‍රදේශයට හිමිය.

  • පොල් වගාවට සුදුසු වැලි මිශ්‍ර පස සහිත තැනි බිම
  • ගංගා වැලි
  • කලපු හා කලපු ආශ්‍රිත කඩොලාන ශාක පද්ධතිය හා ජලජ ජීවීන්
  • කිදිගොඩ වගුරු ආශ්‍රිත ජෛව විවිධත්වයෙන් යුතු පාරිසරික පද්ධතිය
  • භූගත ජල සම්පත්
  • මිනිස් වාසයට,කෘෂි කර්මාන්තයට,සත්ව පාලනයට සුදුසු දේශගුණය හා පාරිසරික පසුබිම       

1977 න් පසු ලංකාවේ ඇති වූ ආර්ථික විපර්යාසයන් සමඟ ප්‍රදේශය සැලකිය යුතු ප්‍රමාණයකින් සාමාජීය,ආර්ථික හා සංස්කෘතිකමය වශයෙන් වෙනසකට ලක්විය.ඒ හේතුවෙන් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය,ජාත්‍යන්තර ගුවන් තොටුපල,ගුවන් හමුදා හා යුද හමුදා කඳවුරු,රාජ්‍ය ස්කාගාර සංස්ථාව,තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය,ආයෝජන මණ්ඩලය යටතේ පාලනය වන ප්‍රදේශයේ විසිරී පවතින කර්මාන්ත ශාලා ඇතිවීමෙන් ජාතික වැදගත්කමින් යුතු නගරයක් බවට පත් විය.එහෙත් මේ හේතුවෙන් නගරය පාරිසරික,සාමාජීය,සංස්කෘතිකමය ගැටළු හා ප්‍රශ්න ගණනාවකට මුහුණපාමින් සිටී.

වර්තමානයේදී කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු අවසන් කර ඇත.එබැවින් දිනෙන් දිනම වාණිජකරණයට ලක්වෙමින් පවතින විවිධ පරිවර්තන වලට ලක් වන නගරයක් ලෙස කටුනායක සීදූව නගර සභා බල ප්‍රදේශය ඉදිරියෙන් සිටී.